ඉතිහාසය

ශ්‍රි ලංකා තැපෑල අවුරුදු 209 කට අධික කාලයක් තිස්සේ මෙරටේ පවතින අතර 17000 කට අධික සේවක සංඛ්‍යාවක් එහි විවිධ තනතුරු වල සේවය කරනු ලබයි. අප අද ශ්‍රි ලංකාවේ පවතින පැරණිම දෙපාර්තමේන්තු වලින් එකක් වේ. අප අපේ උරුමය සහ ඉතිහාසය පිළිබඳව ආඩම්බර වෙමු.

1798 දී ලන්දේසීන් තම පාලන කාලය තුල මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පහ පිහිටුවීම සහ 1799 දී මුල්වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ තැපැල් ගාස්තු නියම කිරීමත් සමග ආරම්භ වූ ශ්‍රි ලංකා තැපෑලට මේ වන විට අවුරුදු 209 ක තරම් වූ දීර්ඝ ඉතිහාසයක් ඇත. ලන්දේසීන් විසින් පිහිටවූ “ඊස්ට් – ඉන්දියා කොම්පැණි” නමැති ආයතනය එවකට තැපෑල සේවාව මෙහෙයවූ අතර එය සාමාන්‍යය ජනතාවට තැපැල් පහසුකම් නොසැපයූ අතර රාජකාරී කටයුතු සඳහා පමණක් එය සීමා විය. කෙසේ වෙතත් 1798 සිට 1815 දක්වා වූ ඉතිහාසය පිළිබඳ සඳහන් කිරීමට තරම් වූ ලිඛිත සාක්ෂි එතරම් හමුනොවේ.

1815 දී රටේ පාලනය බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගන්නා ලදී. ඔවුන් තැපැල් සේවාව ප්‍රතිසංවිධානය කරන ලද අතර 1882 දී ස්ථිර තැපැල් කාර්යාලයක් කොළඔ පිහිටුවන ලදී. එවකට ලංකාවේ ප්‍රථම තැපැල්පතිවරයා වූයේ ගුවන් හමුදා නිලධාරියෙක් වූ ඒ. කෙනඩි මහතාය. කෙසේ වෙතත් 1815 තරම් වූ ඈත යුගයේ දී තැපැල්පති වරු ගණනාවක් සිටිය අතර ඊ.බ්ලැටර්මන් මහතා මුළු දිවයිනටම තැපැල්පතිවරයා විය. ඉන් අනතුරුව ඊ. බ්ලැටර්මන් මහතාගේ ඇවෑමෙන් 1817 දෙවන තැපැල්පතිවරය ලෙස පත්වූයේ ලුවිස් සන්සෝනි මහතාය. තෙවන තැපැල්පතිවරයා වශයෙන් පත්වූ මේජර් ජී. ස්ටුවට් මහතා ඒ මහතාගේ පාලන කාලය තුලදී දිවයිනේ ප්‍රධාන නගර වලට තැපැල් සේවාව ව්‍යාප්ත කිරීම සඳහා ‍ඔහු සමත් විය. තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වශයෙන් හැඳින්වූ එවක තැපැල් සේවාව සතුවූ බොහෝ දේවල් එහි අභිමානය රැක ගැනීම සඳහා හේතුවිය.

ශ්‍රි ලංකා තැපෑල එවකට ආසියාවේ මුල්ම තැපැල් රථය හඳුන්වාදීමේ ගෞරවය අත්කරගත් අතර එය කොළඹ සහ මහනුවර අතර 1832 දී ක්‍රියාත්මක වීම ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව 1838 දී තවත් තැපැල් රථයක් කොළඹ සහ ගාල්ල අතර ආරම්භ කරන ලදී.


Delivery Vehicles

වර්ෂ 1892 දී ප්‍රථම “ජංගම තැපැල් කාර්යාලය” සිය මුල්ම ගමනාරම්භය සනිටුහන් කල අතර එය කොළඹ සහ මහනුවර තදාසන්න ප්‍රදේශයක් වන පේරාදෙනිය දක්වා ධාවනය විය. එතැන් සිය ගතවු වසර ගනනාවක් තිස්සේ තැපැල් ප්‍රවාහනය සඳහා සහ බෙදීම සඳහා විවිධ ප්‍රවාහන මාධ්‍යයන් යොදා ගැනින..

හැත්තෑව දශකයේ පවා එංගලන්තයේ නිෂ්පාදිත “බෙඩ් ‍‍ෆෝඩ්” වෑන් රථ යොදා ගන්නා ලදී. අද අප ජපානයේ නිෂ්පාදිත නවීන පන්නයේ වාහන පෙළක් මහත් අභිමානයෙන් භාවිත කරනු ලබයි. ඈත අතීතයේ පළමුවෙන්ම තැපැල් බෙදීම කරන ලද්දේ පයින් ගමන් කරමින් වූ අතර ඉන් අනතුරුව බයිසිකලය හඳුන්වා දෙන ලදී. ( අද වුවද තැපැල් කරු කඳුකර ප්‍රදේශ වල සහ දුෂ්කර ප්‍රදේශ වල පයින් ගොස් ලිපි බෙදීම දුර්ලභ දසුනක් නොවේ.) පනස්වන දශකයේ සහ හැටවන දශකයේ තැපැල් කරු විසින් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත බීඑස්ඒ- බැන්ටම් භාවිතා කිරීම ඉතාමත් සුලභ දසුනක් විය. තැපැල් කරුවන්ගේ බෙදීම් කලාප කුඩාවීමත් සමගම යතුරු පැදි වෙනුවට පාපැදි භාවිතයට ආවේය. තැපැල් ප්‍රවාහනය දුම්රියෙන්, රජයේ සහ පෞද්ගලික බස්රථ යොදාගනිමින් සහ අපේම වාහන පෙළක් යොදාගනිමින් සිදුවිය.

1877 අප්‍රේල් 01 වනදා මුල්වරට ශ්‍රි ලංකාව විශ්ව තැපැල් සංගමයට බැඳී එහි සාමාජකත්වය ලබා ගත් අතර 1949 ජූලි මස 13 වනදා නිදහස් රටක් වශයෙන් නැවතත් නිදහස ලබාගැනීමෙන් පසු එහි සාමාජිකත්වය යථාවත් කර ලොව පළමු වෙනියා විය.

බ්‍රිතාන්‍යය ජාතිකයන් විසින් 1857 අප්‍රේල් පළමු වෙනිදා පළමු මුද්දරය පැන්ස වලින් නිකුත් කරනලද අතර ඉන් අනතුරුව අවුරුදු පහකට පසු ඔවුන් විසින් තැපැල් මුද්දර ලෝකයට හඳුන්වා දෙන ලදී. 1892 දී මෙරට මුදල් වලින් එනම් රුපියල් ශත වලින් මිලදී ගැනීමට පහසුකම් සැලසුම් කෙරිණි.


කොළඹ නගරයේ විවිධ ස්ථාන වල ස්ථාපිත කොට තිබූ ප්‍රධාන තැපැල් කාර්යාලය 1895 දී තමන්ගේම ගොඩනැගිල්ලක් අත්පත් කර ගත් අතර එය රජ වීදියේ ( අද එය ජනාධිපති මාවත ලෙස හැඳින්වේ) අග්‍රාන්ඩුකාරවරයාගේ (Opposite King’s House) නිල නිවස ඉදිරිපිට පිහිටුවන ලදී. රටේ ඇතිවූ විවිධ වාතාවරණයන් යටතේ ප්‍රධාන තැපැල් කාර්යාලය එම ගොඩනැගිල්ලෙන් ඉවත් වූ අතර අවසානයේදී වර්තමාන තැපැල් මූලස්ථාන ගොඩනැගිල්ලේ ස්ථිර ලෙස ස්ථාපනය කර ඇත. වර්තමාන තැපැල් මූලස්ථාන ගොඩනැගිල්ල පරිපාලන සහ මෙහෙයුම් කටයුතු වල මධ්‍යස්ථානය වන අතර නවීන පහසුකම් වලින් සමන්විත මහල් 9 ක ගොඩනැගිල්ලකි. දැනට මහජනයා සඳහා විවෘතව ඇති තැපැල් කෞතුකාගාරය ද වර්තමානයේ මෙම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.